බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල සීදූ‍ව රාමඩා හෝටලයේ නිරෝධායනය වූ යුක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයක්

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.

මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි රාමඩා තරු හෝටලයේ ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය ​කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.

නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.