Allianz Life Insurance වෙතින් මොබිටෙල් පාරිභෝගිකයන් වෙත සුවිශේෂී ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන Allianz Life Insurance හා ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් එක්ව සියලුම මොබිටෙල් පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී ‘ආරක්ෂා 365’ ජීවිත රක්ෂණාවරණය සැපයීම වෙනුවෙන් ගිවිසුමකට එළඹ ඇති බව නිවේදනය කරන ලදී.

පාරිභෝගිකයන් හට උපරිම රක්ෂණ ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් පැකේජ 2ක් යටතේ සැළසුම් කර ඇති ‘ආරක්ෂා 365’ රක්ෂණාවරණය තුළින් ජීවිත රක්ෂණාවරණයක්, පූර්ණ සදාකාලික දුබලතා ආවරණයක්, අර්ධ සදාකාලික දුබලතා ආවරණයක්, රෝග 40කට අධික සංඛ්‍යාවක් සඳහා බරපතල රෝගාබාධ ආවරණයක්, අවමංගල්‍ය වියදම් ආවරණයක්, රෝහල් ගත කිරීම් සඳහා දෛනික මූල්‍ය ප්‍රතිලාභ මෙන්ම ඩෙංගු මූල්‍ය ප්‍රතිලාභ ආදී රක්ෂණ ආවරණයන් ලබා දෙනු ඇත. රක්ෂණාවරණය සඳහා ලියාපදිංචි වීමට මොබිටෙල් දුරකථනයෙන් ඉතා පහසුවෙන් ‘REG1’ හෝ ‘REG2’ යනුවෙන් සඳහන් කර 226 අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීම තුළින් මොබිටෙල් පාරිභෝගිකයන්ට මෙම සුවිශේෂී දීමනාව අත් විඳීමේ හැකියාව උදා වේ.

මෙම සුවිශේෂී සේවාව හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ Allianz Life Insurance Lanka හි ප්‍රධාන විධායක නිළධාරී ජයලාල් හේවාවසම් මහතා පවසා සිටියේ “ Allianz Life Insurance ලෙස නිරන්තරයෙන් වෙනස් වන නූතන පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව ගැළපෙන හා නව්‍ය සේවාවන් ලබා දීමට හැකි වීම පිළිබඳ ඉතා සතුටු වන බවත් මේ සබඳතාව තුළින් ශ්‍රී ලාංකිකයන් වැඩි ප්‍රමාණයකට ආරක්ෂාව සැළසීමට අපට හැකි වන අතර මෙම සේවා යටතේ ලබා දෙන නම්‍යශීලී හා පහසු රක්ෂණාවරණය සමඟ එක්වන ලෙස අපි සියලු මොබිටෙල් පාරිභෝගිකයන්ට ආරාධනා කර සිටින බවත් ” ය.

අලියාන්ස් ලංකා සමඟ ඇති කරගත් සබඳතාව පිළිබඳ අදහස් දැක්වූ මොබිටෙල්හි ප්‍රධාන විධායක නිළධාරී නලින් පෙරේරා මහතා පවසා සිටියේ “පාරිභෝගියන් පිළිබඳ නිරන්තරයෙන් සැළකිලිමත් වන ජාතික ජංගම දුරකථන ජාලය ලෙස අපගේ පාරිභෝගිකයන් හට උපරිම ප්‍රතිලාභ සහ වටිනාකම් හිමිකර දීමට අපි සෑම විටම උත්සාහ දරනවා. එහෙයින් අපගේ ආයතනික විශ්වාසයන් තුළින් අපගේ වටිනා ගනුදෙනුකරුවන් හට ඉතා ඉහළ සේවාවක් ලබා දීම වෙනුවෙන් අවශ්‍යම මොහොතේ අලියාන්ස් ලංකා සමඟ අත්වැල් බැඳගැනීම ඉතා වැදගත්කොට සළකනවා” යනුවෙනි.
ඒකාබද්ධ මූල්‍ය සේවාවන්හි ලොව ප්‍රමුඛයා වන ජර්මනියේ Allianz SE හි පූර්ණ හිමිකාරීත්වය දරණ Allianz Lanka සමාගම යනු Allianz Insurance Lanka සහ Allianz Life Insurance Lanka යන සමාගම්හි එකතුවකි. 2005 වසරේදී හරිත – ක්ෂේත්‍ර මෙහෙයුම් තුළින් ආරම්භ Allianz Lanka මෙරට වේගයෙන් වර්ධනය වන රක්ෂණ සේවා සපයන්නෙකු බවට පත්ව ඇත . එමෙන්ම සිය උසස් තත්වයේ නිෂ්පාදන හා සේවාවන් තුළින් ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ අවදානම් තත්වයන් සහ අවශ්‍යතා හඳුනාගනිමින් සහ තනි පුද්ගල විසඳුම් ලබා දෙමින් ව්‍යාපාර උපාය මාර්ගයන්ට සහාය සපයනු ලබයි.

මිලියන 100කට අධික ආයතනික හා පුද්ගලික ගනුදෙනුකරුවන් සහිත ලොව ප්‍රමුඛතම රක්ෂණ හා වත්කම් කළමනාකරුවකු ලෙස Allianz ‘ සමූහය හඳුන්වා දිය හැකිය. Allianz ගනුදෙනුකරුවන් හට දේපොළ, ජීවිත හා සෞඛ්‍ය රක්ෂණයේ සිට ණය රක්ෂණ සේවා සහ ගෝලීය ව්‍යාපාර රක්ෂණ දක්වා පුලුල් පරාසයක විහිදුණු පුද්ගලික හා ආයතනික රක්ෂණ සේවාවන්ගෙන් ප්‍රතිලාභ හිමි වේ. Allianz යනු ලොව විශාලතම ආයෝජකයෙක් වන අතර එහි වත්කම් කළමනාකරුවන් වන Allianz Global Investors සහ PIMCO විසින් තෙවන පාර්ශවීය වත්කම් යුරෝ ටි්‍රලියන 1.6 ක් කළමනාකරණය කරනු ලබයි. එහි ව්‍යාපාර ක්‍රියාවලීන් සහ ආයෝජන තීරණයන්හි පාරිසරික හා සමාජීය නිර්ණායක ක්‍රමානුකූලව ඒකාබද්ධ කිරීම හේතුවෙන් Dow Jones තිරසාර දර්ශකයේ රක්ෂණ කරුවන් සඳහා වන ප්‍රමුඛ ස්ථානයක් දිනා ගැනීමට සමත්ව ඇත. 2019 වර්ෂයේ රටවල් 70කට වැඩි ප්‍රමාණයක විසිරී සිටින 147,000කට අධික සේවක ප්‍රමාණයක් විසින් යුරෝ බිලියන 142ක සමස්ත ආදායමක් ලබාගෙන ඇති අතර සමූහ මෙහෙයුම් ලාභය ලෙස යූරෝ බිලියන 11.9ක් වාර්තා කරනු ලැබීය.