කිසිදු දේශපාලකයෙකුට VIP සේවා නෑ – ආගමන විගමන නිලධාරීන් තීරණය කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු සියලු ගුවන්තොටුපළවල ප්‍රභූ පර්යන්තවල (VIP) ආගම හා විගමන රාජකාරි කටයුතු සහ විශේෂ සත්කාර මගීන් සඳහා වන සේද මාවත (CIP) නිෂ්කාෂණ කටයුතු හෙට (මැයි 6) දින සිට අත්හිටුවන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ, රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා පාලකයින් ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසඳුම් ලබා දෙන තෙක් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

ජනතාව මූලික අවශ්‍යතා සපුරාගත නොහැකිව අතිශය පීඩාකාරී තත්ත්වයකට පත්ව සිටියදී ඊට වගකිව යුතු මහ ජනතාවගේ මුදලින් යැපෙන ප්‍රභූන් එම ගැටලුවලට විසඳුම් ලබා දීමේ වගකීම පැහැර හරිමින් තව ම ත් විශේෂ වරප්‍රසාද භුක්ති විඳීම කිසිසේත් ම පිළිගත නොහැකි බව එම සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරට ත් අවධාරණය කර තිබේ.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.