මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයට රැගෙන යනු ලැබූ ශ්‍රී ලාංකිකයන් නැවත සියරට ගෙන්වා ගැනීමේ සියලු මං විදේශ කටයුතු අමාත්‍යාංශය සොයා බලයි

මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්ව මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ඉන් මුදා ගෙන, නැවත සියරට රැගෙන ඒම සඳහා අවශ්‍ය සියලු ප්‍රයත්න දැරීම විදේශ කටයුතු අමාත්‍යාංශය, මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව නොකඩවා කරගෙන යයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නීත්‍යනුකූල රැකියා ලබා දෙන බවට ව්‍යාජ පොරොන්දු දෙමින් මෙම ශ්‍රී ලාංකිකයෝ මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ බහුවිධ ස්ථානවල පවත්වාගෙන යන විවිධ අන්තර්ජාල වංචනික ක්‍රියාවල බලහත්කාරයෙන් සේවයේ යොදවනු ලැබ සිටිති.
ශ්‍රී ලාංකියන් මුදා ගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. ජාවාරම්කරුවන් විසින් සයිබර් අපරාධ ක්‍රියාවල බලහත්කාරයෙන් සේවයේ යොදවනු ලැබ ඇති ශ්‍රී ලාංකිකයන් පත්ව සිටින බැරෑරුම් තත්ත්වය කෙරෙහි මියන්මාර බලධාරීන්ගේ අවධානය නිරන්තරයෙන් යොමු කරවන මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද මෙම දුක්ඛිත තත්ත්වයෙන් වින්දිතයන් ගලවා ගැනීම පිණිස වහා පියවර ගන්නා ලෙසට බලධාරීන් උත්සුක කරවමින් සිටියි. මෙම පියවරවල ප්‍රතිඵලයක් ලෙස, හැකි තරම් ඉක්මනින් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් වින්දිතයන් ගලවා ගැනීම සඳහා තමන් පියවර ගන්නා බව මියන්මාර රජය සහතික වී තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් යූ.එල්. මොහොමඩ් ජවුහර් මහතා 2024 පෙබරවාරි 22 වැනි දින කොළඹ සිටින මියන්මාර තානාපතිවරයා හමු වූ අතර, මියවඩි ප්‍රදේශයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගෙන නැවත සියරට එවීම පිණිස සහය ලබා දීමේ හදිසි අවශ්‍යතාව යළි අවධාරණය කළේය.
ශ්‍රී ලාංකියන් මුදා ගැනීමේ කටයුත්ත සඳහා මියන්මාර රජය ප්‍රයත්න දරමින් සිටින අතර, දැනට එම ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතු කොට ගෙන, අදාළ ප්‍රදේශයට ප්‍රවේශ වීමෙහිලා ඔවුන් දුෂ්කරතාවලට මුහුණ පා ඇති බව දැනුම් දී තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය ගැන සහතික වීම සඳහාත් ඔවුන් හැකි තරම් ඉක්මනින් ආරක්ෂිත ලෙස නැවත සියරට එවීම සඳහාත් විදේශ කටයුතු අමාත්‍යාංශය අසල්වැසි අග්නිදිග ආසියාතික රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරයි. මෙම ජාවාරමේ ගොදුරු බවට පත්ව ඇති සෙසු ජාතික පුද්ගලයන්ගේ රටවල් සමඟ කටයුතු කිරීමේ හැකියාවද අමාත්‍යාංශය සොයා බලමින් සිටියි.
මේ අතර, මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත් වූ ශ්‍රී ලාංකිකයන් මුදාගෙන නැවත සියරට ගෙන්වා ගැනීමේ ක්‍රියා පරිපාටියේදී සහය දෙන බවට පොරොන්දු වමින් එම වින්දිතයන්ගේ පවුල්වලින් මුදල් එකතු කිරීමේ කටයුත්තෙහි ඇතැම් පුද්ගලයන් නිරත වී සිටින බව දැනගන්නට තිබේ. එවැනි පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී දැඩි ලෙස ප්‍රවේසම් වන ලෙස අමාත්‍යාංශය එම පවුල්වලින් ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ බලධාරීන් සමඟ නිරන්තරව සම්බන්ධ වී කටයුතු කරන අතර, එය මියන්මාර රජයේ බලධාරීන් සමඟ සමීප සහයෝගයෙන් හා නිරන්තර සම්බන්ධතාවෙන් යුතුව, මියන්මාරයේ මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් මුදා ගෙන ඔවුන් ආරක්ෂිතව නැවත සියරට ‌ගෙන්වා ගැනීම සඳහා සියලු මං සොයා බලමින් සිටින බවට සහතික වෙයි.