අම්බලන්ගොඩ ජී. එම්. ඒ ද සිල්වා ජුවලර්ස්, ස්වර්ණමය ව්‍යාපාර ගමන් මගෙහි සියවස සපුරයි

දකුණු ලක පාරිභෝගිකයින්ගේ වඩාත් විශ්වසනීය ස්වර්ණාභරණ ආයතනයක් වන ජී. එම්. ඒ ද සිල්වා ජුවලර්ස්, මෙම වසරේ සිය ව්‍යාපාර ගමන් මගේ ස්වකීය අභිමානවත් 100 වැනි සංවත්සරය සමරයි. රන් භාණ්ඩ නිෂ්පාදනයෙහි සියක් වසක අභිමානවත් නාමයක් ලෙසින් ජී. එම්. ඒ ද සිල්වා ජුවලර්ස්, දකුණු ලක පාරිභෝගිකයින් අතර ඉකුත් වසර ගණනාව තිස්සේම, ඉමහත් ගෞරවාදරයටද පත් ස්වර්ණාභරණ ආයතනයකි.
ජී. එම්. ඒ ද සිල්වා පුද්ගලික සමාගම 1920 වසරේදී, අම්බන්ගොඩ ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් ගැනීමෙහි ලා විශ්වාසවන්ත නාමයක් රඳවා ගැනීමෙහි ප්‍රකට ජී. එම්. ඒ ද සිල්වා මහතාගේ නිර්මාතෘත්වයෙන් පිහිටුවා ගැණිනි. 1950 වසර වන විට, ඔහුගේ පුත් ජී. එම්. එස් ද සිල්වා මහතා රන් භාණ්ඩ නිෂ්පාදනය හා වෙළෙඳාම ඊට ඇතුළත් කරමින් එය, ජී. එම්. ඒ ද සිල්වා ජුවලර්ස් බවට පරිවර්තනය කළේය. එතැන් පටන්, ජී. එම්. ඒ. ද සිල්වා ජුවලර්ස් සන්නාමය, 1983 හා 2006 වසරවල අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති හා සාමාජිකයකු ලෙසින් කටයුතු කරමින් ප්‍රදේශයේ ප්‍රකට පුද්ගලයකු ව සිටි අභාවප්‍රාප්ත ජී. එම්. එස් ද සිල්වා මහතා දිනා ගත් සමාජ ගෞරවයට සමගාමීව පැවතිණි. හෙතෙම, සිය ව්‍යාපාරය වර්ධනය කර දකුණු ලක පාරිභෝගිකයින් වෙත හොඳම නිමාවෙන් යුතු කැරට් 22 රන් භාණ්ඩ ළඟා කරලීමේ දැක්මෙන් යුතු විය. ඉකුත් වසර ගණනාව පුරාම, ඔහුගේ අවවාද අනුශාසනා හා පෞද්ගලික මැදිහත් වීම සහිතව නිම වී අලෙවි කෙරුණු සෑම රන් භාණ්ඩයක්ම ජී. එම්. ඒ ද සිල්වා ජුවලර්ස් වෙතින් රන් භාණ්ඩ මිලට ගන්නා දකුණෙහි පාරිභෝගිකයින් හට වෙනසක් ළඟාකර දීමට සමත් විය.
“මගේ පියා වන ජී. එම්. එස් ද සිල්වාගේ අභාවයෙන් පසුව, මා ඇතුළු මගේ සහෝදරයින්ගේ ඉලක්කය වන්නේ, 100 ක් වසරක විශිෂ්ටත්වය හා අවංකභාවය, රන් භාණ්ඩවල අපූර්වත්වය සමගින් දිගටම පවත්වා ගැනීමයි.” පවුලේ හිමිකාරිත්වයෙන් යුතුව පවත්වාගෙන එන ව්‍යාපාරයෙහි තෙවැනි කළමණාකාරීත්ව පරම්පරාව නියෝජනය කරන, වත්මන් කළමණාකාර අධ්‍යක්ෂ චවින්ක සුමනතිලක මහතා සඳහන් කරයි.
අභිමානවත් 100 වැනි සංවත්සරය සමරන අතරෙහි, වත්මන් කළමණාකාරීත්වය විසින් සමාගමෙහි පුරෝගාමී ගති සොබාවන් හා අඛණ්ඩ වර්ධනය හඳුනාගෙන තිබේ. සම්ප්‍රදායික ස්වර්ණාභරණ නිෂ්පාදන තවදුරටත් නිපදවන අතරතුර ඉකුත් වසරෙහි, නව ස්වරණාභරණ සැලසුම් ශිල්පීන් සමගින් සමාගම නවීනතම වෙනසක් කරාද පියවර තබා තිබුණි. 2018 වසරේ ඔක්තෝබර් මාසයේ, සිය දෙවැනි ශාඛාව දකුණු ලක අගනගරය වන ගාල්ලේ විවෘත කරමින් ජී. එම්. ඒ ද සිල්වා ජුවලර්ස්, ස්වකීය පාරිභෝගිකයින් වෙත තවදුරටත් සමීප විණි.
“අප සිය වැනි සංවත්සරයට පියවර තබද්දී, අද වන විට ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඉතාලිය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල මෙන්ම, රටේ නොයෙකුත් ප්‍රදේශවල විසිරී සිටින සිටින දකුණේ පාරිභෝගිකයින් හට රනින් සේවය සැලසීමටත් හැකි වේ යැයි ප්‍රගතිශීලී මානසිකත්වයක් අප තුළ පවතිනවා. ඒ වගේම අපගේ සීයා වන ජී.එම්. ඒ ද සිල්වා මහතාගෙන් මෙන්ම, පියා වන ජී. එම්. එස් ද සිල්වා මහතාගෙන් තිලිණ වුණු නිෂ්පාදනවල විශ්වාසනීය භාවය හා නිර්මල භාවය දිගටම පවත්වා ගනිමින් නවතම අන්තර්ජාල අවකාශ ඔස්සේ, පාරිභෝගිකයින් වෙත නිෂ්පාදන තවදුරටත් ව්‍යාප්ත කරලීමත් අපි සිදු කර ගෙන යනවා.” සුමනතිලක මහතා වැඩිදුටරත් සඳහන් කළේය.