ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (06) සිට චීන ගුවන් ගමන් සීමා කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (6) සිට  චීනය  සඳහා ගුවන් ගමන් වාර  අඩු කිරීමට තීරණය කර ඇත.

මේ දක්වා කොළඹ සහ චීනය අතර සතියකට ගුවන් ගමන් 15 ක් ක්‍රියාත්මක වූ අතර එය අද (6) සිට එය ගුවන් ගමන් 7 ක් දක්වා අඩු කර තිබේ.

මෙම ගුවන් ගමන් වාර සංශෝධනය කිරීම අද (6) සිට ලබන මාර්තු 28 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයේ බීජිං, ෂැංහයි සහ කැන්ටන් යන නගර තුනකට සේවා සැපයන අතර, බීජිං වෙත සතිපතා ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත්, ෂැංහයි  වෙත ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත් කැන්ටන් වෙත ගුවන් ගමන් වාර 7 සිට 3 දක්වාත් අඩු කෙරෙන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

කොරෝනා වයිරසය පැතිර යාමෙන් පසු විදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස අඩුවීමත් වර්තමාන මගී ඉල්ලුම මත එරට නගර කිහිපයකට ගුවන් ගමන්වාර තාවකාලිකව අඩු කිරීමටත් කටයුතු යෙදූ බව එම ගුවන් සමාගම සඳහන් කරයි.

මේවන විටත් ඉල්ලුම පහත වැටීම හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් මේ වන විටත් චීනය වෙත ගුවන් ගමන් වාර අඩු කර ඇති අතර, චීන රජය විසින් එරට පුරවැසියන්ගේ විදේශ සංචාර සඳහා සීමාවන් පැනවීම ඊට හේතුව යැයිද එම සමාගම කියා සිටියි.

එසේම කොළඹ සහ චීනයේ නගර කිහිපයක් අතර ක්‍රියාත්මක වන චීන ගුවන් සමාගම් හතරක් ද මෙලෙස සිය ගුවන් මෙහෙයුම් සීමා කර ඇති බවද එම සමාගම පෙන්වා දෙයි.

කොළඹ-අබුඩාබි වෙත පුළුල් බඳ සහිත ගුවන් යානා ඉහළ නැංවීම, ගුවන් යානා කිහිපයක නියමිත නඩත්තු කටයුතු ඉදිරියට ගෙනයාම ඇතුළු අනෙකුත් කලාපවල ධාරිතාව ඉහළ නැංවීම සඳහා  මෙලෙස චීනයේ මෙහෙයුම්වලින් ඉවත් කරන ගුවන් යානා යෙදවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ .