කොවිඩ්19 එන්නත් ලබාගැනීමට හා සහතික කිරීමට ඩිජිටල් සේවාවක්

කොවිඩ්-19 වැලැක්වීමේ එන්නත මහජනතාවට ලබාගැනීමට කල්තියා අවස්තාවක් වෙන්කර ගැනීම හා එන්නත ලබාගත් පුද්ගලයන් සදහා ඩිජිටල් ප්‍රතිශක්තිකරණ සහතිකයක් නිකුත්කිරීමේ කොවිඩ්-19 පුරවැසි ද්වාරය (COVID-19 Citizen Portal) අන්තර්ජාල වෙබ් සේවාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පියවර ගනියි. එහි සමාරම්භය අද (19) යුධහමුදා රෝහලේදී සිදුවිය.

මෙම සේවාව මහජනතාව සදහා ඉදිරි දින කිහිපය තුල දී ලබාදීමට අපේක්ෂා කෙරේ. මෙය සදහා වෙබ් අඩවියකට පිවිසීමෙන් ලියාපදිංචි වියහැකියි. ලියාපදිංචි වීමත් සමඟ එන්නත ලබාගැනීමට ආසන්නම ස්ථානය හා වෙලාවක් ස්වයංක්‍රීයව ලැබෙනු ඇත.

එන්නත් දෙකම ලබාගත් පුද්ගලයකුට ඒ පිළිබද විස්තර සහතික කල QR කේතයක් සහිත ප්‍රතිශක්තිකරණ සහතිකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කෙරේ. ලබාගත් එන්නත් වර්ගය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු එහි අඩංගුවේ. එය ශ්‍රී ලංකාවට අනන්‍ය QR කේතයක් වන අතර ලෝකයේ ඕනෑම රටකින් අදාළ අංශ වෙත ඉදිරිපත් කර මෙම වෙබ් අඩවිය හරහා තහවුරු කරගත හැකියි. මෙම සහතිකය අන්තර් ජාලයෙන් බාගත හැකි අතර අනන්‍යතාව තහවුරු කිරීම ජංගම දුරකථනය මගින් සිදුකෙරේ.

අවශ්‍ය නම් එක දුරකථන අංකයකින් පවුලේ සැමට ලියාපදිංචි විය හැකියි. සහතිකපත් වෙන් වෙන්ව නිකුත්කෙරේ. මෙම ඩිජිටල් වැඩසටහන මගින් එන්නත් මධ්‍යස්ථානවල තදබදය අවම කිරීමත් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෙකුට ලැබෙන සංචරණ පහසුකම් බාධාවකින් තොරව ලබාගැනීමටත් හැකිවනු ඇති බව තොරතුරු හා සන්නිවේදන සන්නිවේදන නියෝජිතායතනයේ ප්‍රකාශකයෙක් සදහන් කරන ලදී .

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාතයංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ යුධහමුදා රෝහල් අධ්‍යක්‍ෂ කර්නල් චම්පික අත්තනායක, තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බි හේරත් ඇතුළු පිරිසක් සහභාගි වූහ.