මූල්‍ය බුද්ධි ඒකකය වානිජ බැංකුවකට හා මූල්‍ය ආයතනයකට දඩ ගසයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ.

මූල්‍ය ආයතනයක් හෝ නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාරයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, රටේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 ජනවාරි 01 සිට 2021 මාර්තු 31 දක්වා කාලය තුළ පනවන ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 4.0 කි.

ප්‍රධාන වශයෙන්, එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට අදාළ පිරික්සුම් කිරීම, ගනුදෙනුකරුවන් හඳුනාගැනීම සහ තහවුරු කරගැනීම, සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම, නිසි අවදානම් පාලනය සහ අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීති උල්ලංඝනය කිරීම් සඳහා දණ්ඩන පනවන ලදී.

2021 ජනවාරි 01 සිට 2021 මාර්තු 31 දක්වා කාලය තුළ මූල්‍ය බුද්ධි ඒකකය විසින් පනවන ලද දණ්ඩන පිළිබඳ විස්තර පහත පරිදි වේ;

දණ්ඩන පනවන ලද දිනය ආයතනය වටිනාකම (රුපියල්)
2021 ජනවාරි 20 කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් 1,000,000.00
2021 පෙබරවාරි 18 කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී.එල්.සී 3,000,000.00