ශ්‍රී ලංකාවේ විශාලතම එලිමහන් කලා සල්පිල පෙබරවාරි 23 පැවැත්වේ

ඉමහත් ජනප්‍රියත්වයට පත් වාර්ෂික එළිමහන් කලා සල්පිල, ‘කලා පොළ 2020’ කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ දී ලබන පෙබරවාරි 23 වන ඉරුදින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජෝර්ජ් කීට් පදනම විසින් සංවිධානය කරනු ලබන කලා පොළ එදින උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙයි .

ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් මත, කලා පොළ මුල් වරට පැවැත්වුණේ 1993 වසරේ කලා කරුවන් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙනි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම එළිමහන් කලා අලෙවි ප්‍රදර්ශනය බවට පත්වූ මෙම කලා පොළ, දේශීය චිත්‍ර ශිල්පීන් සහ මුර්ති ශිල්පීන් ගේ ජාලකරණයට මනා තෝතැන්නක් විය.

ජනතාවගේ නෙත් සිත් වර්ණවත් කරමින් පැවැත්වෙන කලා පොළ නැරඹීම සඳහා 2019 වර්ෂයේදී 31000ක් පමණ වූ නරඹන්නන් පිරිසක් සහ 350කට අධික කලාකරුවන් පිරිසක් එක් වූහ.

තවද ළමා චිත්‍ර අන්තයේ 235කට අධික දුවා දරුවන් සදහා කලා නිර්මාණ කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබිණි. ගෙවීගිය වසර තුළ දී මෙන්ම මෙවර ද කලා පොළ සඳහා දිවයිනේ නන් දෙසින් දහස් සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේකෂා කෙරේ.

පෙර වසරවල දී මෙන්ම මෙවර ද කලා පොළ නැරඹීම සඳහා මහජනතාවගෙන් කිසිදු මුදලක් අය කෙරෙන්නේ නැත.
මෙම ප්‍රදර්ශනය චිත්‍ර සහ මූර්ති පමණක් නොව ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ විවධ වූ රසයන් විදහා පාමින් දේශීය නැටුම්, ජන ගායනා, බෙර වාදන සහ අනෙකුත් සංස්කෘතික අංග වලින් විචිත්‍රවත් වූ කලා කේන්ද්‍රයක් බවට අද වනවිට පත්ව ඇත. සහෝදර කලාකරුවන් මුණ ගැසීමට සහ තම දැනුම පුළුල් කර ගැනීමට කලාකරුවන් හට මෙය මහඟු අවස්ථාවකි.